Mystery

කළු ඩාලියාගේ මරණය – සත්‍යයෙන් මතු වූ ප්‍රබන්ධය

රහසක් අභිරහසක් බවට පත් වන්නේ එහි සැබෑ යථාර්ථය හෙළි කර ගත නොහැකි අවස්ථාවන්වල දී ය. අභිරහසක් අනාවරණය කරගැනීම  නීතිය මගින් වරදකරුවන්ට දඬුවම් ලබාදීමට වැදගත් වන්නා සේ ම නිර්මාණකරුවන්ට අපූර්ව වස්තු විෂයක් වන්නේ ය. 1924 ජුනි මස 29 වන වන දා උපන් එළිසෙබෙත් ෂෝ‍ර්ට්ගේ (Elizabeth Short) ඝාතනය අදටත් නොවිසඳුණු අබිරහසක් ලෙස නිර්මාණකරුවන්ට වස්තු බීජ සපයන්නේ පුදුම සහගත ලෙස ය. එළිසෙබෙත් ෂෝර්ට්ගේ ඝාතනයේ බිහිසුණු බව මෙම අපරාධය වඩාත් ප්‍රසිද්ධියට පත් වීමට හේතුවක් විය. එළිසබෙත් ෂෝර්ට්ගේ ඝාතනය සම්බන්ධව සාකච්ඡා කිරීමට මත්තෙන් එළිසෙබෙත් ෂෝ‍ර්ට්  යනු කවුරුන්දැ’යි හඳුනාගැනීම වැදගත් ය. ක්ලියෝ ඒ. ෂෝර්ට් නම් පියාට දාව ෆීබී නම් මවට උපදින එළිසබෙත් ෂෝර්ට් නම් දියණිය, 1924 ජූලි මස 29 වන දා උපත ලබන්නේ දියණියන්  පස් දෙනෙකුගෙන් යුත් පවුලේ තුන්වැනියා ලෙස ය. බොස්ටන් හී උපත ලැබූ ඇයගේ මුල් ළමා කාලය ගත කරන්නේ එංගලන්තයේ සහ ෆ්ලොරිඩාවේ ය. පසුකාලීනව ඇගේ පියා ජීවත් වූ කැලිෆෝනියාවේ ජීවත් විය. ඇයගේ ඝාතනය සිදුවන විටත් ඇය නිළියක් වීමේ අපේක්ෂාවෙන් ඒ සඳහා උත්සාහ කරමින් සිටි තැනැත්තියකි. එළිසෙබෙත්ගේ මරණින් පසුව ඇයට “කලූ ඩාලියා” ලෙස අන්වර්ථ නාමයක් පටබැඳීමට  ද ඇය රංගන ශිල්පිනියක් වීමේ අපේක්ෂාවෙන් ගොඩනගා ගත් ප්‍රතිරූපය හේතුවක් වී ඇත. කෙසේ වෙතත් වසර 23ක් පමණ වූ එළිසෙබෙත්ගේ කෙටි ජීවන අන්දරය එතරම් සතුටුදායක එකක් නොවීය.

1929 දී කොටස් වෙළෙඳ පොළ කඩා වැටීමෙන් ඇති වූ දැඩි ආර්ථික අවපාතයත් සමග එළිසබෙත්ගේ පියා ජීවිතය හානිකර ගෙන ඇති බවට සාක්ෂි හමුවිය. 1930 දී ඔහුගේ මෝටර් රථය චාල්ස්ටුවන් පාලම මත  අතහැර දමා තිබිය දී සොයාගත් අතර එළිසෙබෙත් ගේ පියා චාල්ස් ගඟට පැන සියදිවි හානි කර ගන්නට ඇතැයි උපකල්පනය කෙරුණි. පසුව සිය දරු පවුල නඩත්තු කිරීමේ වගකීම සිය දෙවුර මතට ගත් එළිසබෙත්ගේ මව ව්‍යාපාරයක ගිණුම් වාර්තා කරන්නියක් ලෙස රැකියාවක් කිරීමට පෙළඹුණි. එළිසෙබෙත්ට වයස  අවුරුදු 15ක් පමණ වන විට පෙනහළුවල සහ ශ්වසන මාර්ගයේ ඉදිමීම හේතුවෙන් ඇදුම රෝගී තත්ත්වයක් ඇති විය. ඒ සඳහා ඇයව ශල්‍යකර්මයකට භාජනය කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙස වෛද්‍යවරුන්ගේ නිර්දේශය වූයේ තවදුරටත් මෙම ශ්වසන අපහසුතා වළක්වා ගැනීමට නම් සෞම්‍ය දේශගුණික පරිසරයක් වෙත ඇය වරින්වර මාරු විය යුතු බවයි. කලකට පසුව එනම්, 1942 දී එළිසබෙත්ගේ මවට ඇගේ මිය ගියා යැයි සිතූ සැමියාගෙන් පුදුම සහගත ලෙස සමාව අයදින ස්වභාවයේ ලිපියක් ලැබුණි. එහි සඳහන් වූයේ ඔහු කැලිෆෝනියාවේ නව දිවියක් ආරම්භ කර ඇති බවයි. වසර හයකට ආසන්න කාලයක් තමන්ගෙන් ඈත් වී සිටි පියා සමග ජීවත් වීමේ අපේක්ෂාවෙන් එළිසෙබෙත් ෂෝර්ට්  කැලිෆෝනියාවේ වැලෙජෝ වෙත පදිංචියට යාමට තීරණය කරන්නේ ඉන් අනතුරුවයි. ඒ වන විට  එලිසබෙත් ෂෝර්ට්ගේ පියා සැන්ෆ්‍රැන්සිස්කෝ හි මාරේ අයිලන්ඩ් නාවික නැව් තටාකාංගනයේ සේවය කරමින් සිටියේ ය. නමුත් ඉතා ම කෙටි කාලයක් තුළ එලෙස එළිසබෙත් ෂෝර්ට් සහ ඇගේ පියා අතර මත ගැටුමක් හේතුවෙන් 1943 ජනවාරි මාසයේ දී එළිසබෙත් ෂෝ‍ර්ට් විදේශගත විය.

පසුකාලීනව සැන්ටා බාබරා වෙත පැමිණෙන එළිසබෙත් ෂෝර්ට් බාලවයස්කාරියක් ලෙස ප්‍රාදේශීය තැබෑරුමක මත්පැන් පානය කිරීමේ වරදට අත්අඩංගුවට පත් විය. මෙම සිදුවීමෙන් පසුව නැවතත් ෆ්ලොරිඩාවට පැමිණෙන එළිසබෙත් ෂෝර්ට් ඇගේ පවුලේ අය සමග වරින්වර සම්බන්ධතා ගොඩනගා ගනිමින් ජීවත් විය. ෆ්ලොරිඩාවේ ජීවත් වන කාල වකවානුවේ මේජර් මැතිව් මයිකල් ගෝර්ඩන් නම් ගුවන් හමුදා නිළධාරියකු සමග එළිසෙබෙත් ෂෝර්ට් ප්‍රේම  සම්බන්ධතාවයකට මුල පුරයි. නමුත් විවාහ වීමට ඉතාම ආසන්නව තිබිය දී එනම්, 1945 අගෝස්තු 10 වන දින සිදු වූ ගෝර්ඩන්ගේ හදිසි අභාවය එළිසබෙත් ෂෝ‍ර්ට්ගේ සහ මයිකල් ගෝර්ඩ්න්ගේ ආදර අන්දරයේ අවසානය සනිටුහන් කරයි. එළිසබෙත් ෂෝර්ට් ඇගේ ජීවිත කතාවේ අවසාන පරිච්ඡේදය ගත කරන්නේ දකුණු කැලිෆෝනියාවේ ලොස් ඇන්ජලීස් ප්‍රදේශයේ ය. හොලිවුඩ් බෝල්වාර්ඩ් හි ෆ්ලෝරෙන්ටයින් ගාර්සන්ස් රාත්‍රී සමාජ ශාලාව පිටුපස කාමරයක් කුලියට ගන්නා එළිසබෙත් ෂෝර්ට් වේටර්වරියක් ලෙස කටයුතු කරමින් සිය ජීවිකාව සරි කරගනියි.  

විවිධ මූලාශ්‍රවල එළිසබෙත් ෂෝ‍ර්ට් පිළිබඳව පැහැදිලිව සඳහන් කරන කරුණ නම් මෙම කාලවකවානුව වන විටත් ඇය නිළියක් වීමේ අපේක්ෂාවෙන් ඒ සඳහා මහන්සි වී වැඩ කරමින් සිටි බවයි. 1948 ජනවාරි මස 9 වන දින එළිසබෙත් ෂෝර්ට් සිය පෙම්වතා වූ විසිපස් හැවිරිදි විවාහක වෙළෙන්දෙකු වන රොබට් මැන්ලි සමග සැන්ඩියෝගෝ හි සිදුකළ කෙටි  සංචාරයකින් පසු යළිත් ලොස් ඇන්ජලීස් හි පිහිටි සිය නිවසට පැමිණ ඇත. එළිසෙබෙත් ෂෝර්ටගේ ඝාතනයෙන් පසුව මැන්ලි සිදු කළ ප්‍රකාශයට අනුව ඔහු, බොස්ටන් සිට පැමිණි  සොයුරිය හමු වීමේ අපේක්ෂාවෙන් සිටි එළිසෙබෙත් ෂෝර්ට්ව ලොස් ඇන්ජලීස් නගරයේ බිල්ට්මෝර් හෝටලයට ඇරලවා ඇත. බිල්ට්මෝර් හි සේවකයන්ගේ සාක්ෂිවලට අනුව එළිසෙබෙත් ෂෝර්ට්  එහි ලොබියේ ඇති දුරකථනය භාවි කර ඇත. ඇතැමුන්ගේ සාක්ෂිවලට අනුව බිල්ට්මෝර්  සිට මීටර් 600ක් පමණ දුරින් වූ සවුත් ඔලිව් වීදියේ ක්‍රවුන් ග්‍රිල් කොක්ටේල් විවේකාගාරයේ එළිසබෙත් ෂෝර්ට් ගැවසී ඇත. ඒ ජීවතුන් අතර අතර සිටි එළිසෙබෙත් ෂොර්ට්  පිළිබඳව ලැබුණු අවසන් සාක්ෂියයි.

1948 ජනවාරි මස 15 වන දින උදෑසන, කොටස් දෙකකට වෙන්කරන ලද එළිසෙබෙත් ෂෝර්ට්ගේ  නිරුවත් සිරුර හමුවන්නේ කොලිසියම් වීදිය සහ බටහිර 39 වන වීදිය අතර දකුණු නෝටන් මාවතේ බටහිර පැත්තට වන්නට පිහිටි පාලූ උද්‍යානයක තිබී ය. ප්‍රදේශවාසීයෙකු වූ බෙටී බර්සිංගර් (Betty Bersinger) නම් කාන්තාව ඇගේ තුන් හැවිරිදි දියණිය සමග මෙම උද්‍යානය අසලින් ඇවිද යමින් සිටිය දී එළිසෙබෙත් ෂෝර්ටගේ සිරුර හමු වී ඇති අතර ඇය එය මළ සිරුරක් බවට වැටහුණු වහා ම අසල නිවසක දුරකථනයෙන් පොලිසිය දැනුවත් කර ඇත. එළිසබෙත් ෂෝර්ට්ගේ සිරුර හමු වන විට එය දැඩි ලෙස විකෘති වී ඉණෙන් පහළ සම්පූර්ණයෙන් ම වෙන් වී ලේ ගලා ගොස් සම සුදුමැලි වී තිබූ බව වාර්තාවවල සඳහන් වේ. වෛද්‍ය වාර්ථාවන්ට අනුව ඇයගේ සිරුර සොයා ගන්නා මොහොත වන විට ඇය මිය ගොස් පැය දහයකට ආසන්න කාලයක් ගත වී ඇති බවත්, ඇයගේ මරණය සිදු වී ඇත්තේ ජනවාරි 14 වන දින සවස් කාලයේ හෝ ජනවාරි 15 වන දින හිමිදිරි පාන්දර විය හැකි බවත් සඳහන් වෙයි.

සිරුරේ ඇති සාක්ෂි විනාශ කිරීම සඳහා මිනීමරුවා විසින් සිරුර සෝදා පිරිසිදු කර ඇත. “ග්ලාස්ගේ සිනහව” (ලොව ප්‍රකට සිනමා කෘතියක් වන “ද ජෝකර්” සිනමා කෘතියේ ජෝකර්ගේ සිනහව) පෙනෙන පරිදි  එළිසබෙත් ෂෝර්ට්ගේ  මුහුණේ  මුඛය කෙළවරේ සිට කන් දක්වා කපා ඇත. වෛද්‍ය වාර්ථාවන්ට අනුව ඇයගේ කළවා සහ පියයුරුවල කැපුම් කීපයක් ද සමග මස් කොටස් සම්පූර්ණයෙන් ම කපා ඉවත් කර තිබිණි. ඇගේ සිරුරේ පහළ කොටස ඉහළ කොටසට වඩා අඩියක් ඈතින් තබා තිබූ අතර ඇයගේ බඩවැල් තට්ටම්වලට යටින් පිළිවෙළට තබා තිබූ බව මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් වෙයි. ඇගේ හිසට ඉහළින් දෑතේ වැළමිට සෘජු කෝණාකාරව නැමෙන ආකාරයෙන් තබා ඇති අතර ඇගේ දෙපා දෙපසට විහිදී යන ආකාරයෙන් තබා ඇත. මෙම කුරිරු ඝාතනය පිළිබඳව ආරංචිය පැතිර යාමත් සමග වාර්තාකරුවන් රැසක් එම ස්ථානය වෙත පැමිණ ඇත. අපරාධය සිදු වූ ස්ථානයට ප්‍රථමයෙන් ම පැමිණ මෘත දේහයේ සහ  එම ස්ථානයේ ඡායාරූප ලබාගෙන ඇත්තේ ලොස් ඇන්ජලීස් හෙඩ්ලර් එක්ස්ප්‍රස් වාර්තාකරු ඇගී අන්ඩර්වුඩ් ය. මෘත දේහය තිබුණු ස්ථානයේ තිබී ලේ සහිත සිමෙන්ති ගෝනියක් මෙන් ම “විළුඹක” අඩි සලකුණක් සහ ටයර් එකක සලකුණු ද රහස් පරීක්ෂකයන් විසින් සොයා ගන්නා ලදී. ලොස් ඇන්ජලීස්  ප්‍රාන්තයේ හදිසි මරණ පරීක්ෂක ෆෙඩ්‍රික් නිව්බාර් විසින් 1947 ජනවාරි මස 16 වන දින එළිසබෙත් ෂෝ‍ර්ට්ගේ දේහය පිළිබඳ මරණ පරීක්ෂණය සිදු කරන ලදී. එම වාර්තාවට අනුව එලෙස එළිසෙබෙත්  ෂෝර්ටගේ උස අඩි 5යි අඟල් 5ක් පමණ වූ අතර බර කිලෝග්රෑම් 52ක් විය. ඇයට නිල් පැහැති ඇස් සහ දුඹුරු පැහැති හිස කෙස්  ද දිරාපත් වූ දත් කිහිපයක් ද තිබූ බව වාර්තාවේ සඳහන් වෙයි. එමෙන් ම ඇගේ දකුණු පියයුරෙහි පෘෂ්ඨය පටක අහිමිවීමත් සමග අක්‍රමවත් කැපුමක් යොදා තිබූ අතර දකුණු නළලෙහි, වම් අතෙහි සහ පපුවේ පහළ වම් පසෙහි මතුපිටින් තුවාල තිබූ බව ද වාර්තාවේ සඳහන් වෙයි. Hemicorporectomy නම් තාක්ෂණයෙන් ඇගේ ශරීරය සම්පූර්ණයෙන් ම අඩකින් කපා ඉවත් කර ඇති බවත් දෙවන සහ තුන්වන කශේරුකා අතර කොඳු ඇට පෙළ මාරු කිරීමෙන් ඇයගේ ශරීරයේ පහළ භාගය ඉවත් කර ඇති බවත් ඇගේ මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇත. තොල්වල  සිට කන දක්වා විහිදුණ තුවාල මුහුණේ දකුණු පසින් අඟල් තුනකින් සහ වම් පසින් අඟල් දෙක හමාරක් පමණ වෙයි. ඇයගේ හිස් කබලට හානියක් සිදු වී නැති නමුත් දකුණු පස සටහන් වී ඇති තැලීම් සළකුණු මගින් හිසෙහි අභ්‍යන්තර ලේ ගැලීමක් ද සිදු වී ඇත. අවසාන වශයෙන් ඇයගේ මරණයට හේතුව ලෙස සඳහන් කරන්නේ මුහුණේ ඇති වූ තුවාල හේතුවෙන් ලේ ගැලීම සහ හිසට මෙන් ම  මුහුණට එල්ල වූ පහරවල් නිසා ඇති වූ කම්පනය බවයි. ඇගේ ගුද මාර්ගය මිලිමීටර් 45ක් තරම් ප්‍රමාණයකින් විස්තාරණය වී ඇති අතර එයින් මරණ පරීක්ෂකවරයාගේ නිගමනය වූයේ ඇය දූෂණයකට ලක් වීමට ඉඩ ඇති බවයි. නමුත් ඇයගේ සිරුරේ ශුක්‍රාණු ඇති බවට කරන ලද පරීක්ෂණයෙන් එවැනි කිසිවක් සොයාගත නොහැකි විය. සාමාන්‍ය ප්‍රවෘත්ති ඡායාරූප සඳහා භාවිතා කරන sound photo නැමැති උපකරණයක් මගින් ඇයගේ ඇඟිලි සලකුණු FBI ආයතනය වෙත යොමු කිරීමෙන් අනතුරුව එළිසබෙත් ෂෝ‍ර්ට්ගේ අනන්‍යතාවය තහවුරු කර ගනු ලැබිණි. 

කෙසේ නමුත් එළිසෙබෙත් ෂෝර්ටගේ ඝාතනය බොහෝ වාර්තාකරුවන්ට පුවත් මවන රසගුලාවක් විය. එළිසෙබෙත්ගේ  ඇඟිලි සළකුණු හඳුනාගැනීමත් සමග William Randolph Hearst’s Los Angeles Examiner හි වාර්තාකරුවන් හැකි ඉක්මනින් එළිසබෙත් ෂෝර්ට්ගේ මව වූ Phoebe Short සම්බන්ධ කරගත් අතර ඔවුන් එළිසබෙත් ෂෝර්ට්ගේ ඝාතනය පිළිබඳව තොරතුරු ඇගේ මවගෙන් සඟවා ඔවුන්ගේ පෞද්ගලික තොරතුරු රැසක් අනාවරණය කර ගත්තේ ය. එළිසබෙත් ෂෝර්ට්ගේ ඝාතනය පිළිබඳ ඇගේ මව දැනුවත් කරන්නේ ඉන් අනතුරුවයි. එළිසබෙත් ෂෝර්ට් ඝාතනය සම්බන්ධව පර්යේෂණ කටයුතු සඳහා ඇගේ මව ලොස් ඇන්ජලීස් වෙත රැගෙන එන්නේ සහ එම කාලය තුළ ඇයගේ සියලුම වියදම් දරන්නේ මෙම පුවත්පත් සමාගමයි. මෙහි දී සැළකිළිමත් විය යුතු අනෙක් සුවිශේෂී කාරණය වූයේ අනෙකුත් වාර්තාකරුවන්ගෙන් එළිසබෙත්ගේ මව ඈත් කර තබා ගැනීමට ඔවුන් උත්සාහ දැරීමයි. ඔවුන්ගේ එක් ලිපියක එළිසෙබෙත් ෂෝර්ට්  අවසන් වරට ඇඳ සිටි ඇඳුම  කළු පැහැති දිගු සායක් සහ ෂීර් බ්ලවුසයක් බව සඳහන් වීමත් සමග මාධ්‍ය විසින් ඇයට black dahlia යන අන්වර්ත නාමය පටබැඳී ය. ඔවුන් එළිසෙබෙත්ව අර්ථ දැක්වූයේ, Prowled Hollywood Boulevard ලෙස ය. මෙම ඝාතනය ලිංගික ද්‍රෝහී ඝාතනයක් (sex fiend slaying) ලෙස සඳහන් කරමින් එම වසරේ ම ජනවාරි 17 වන දා ලොස් ඇන්ජලීස් ටයිම්ස් පුවත්පතේ ලිපියක් පළ විය. මේ අතර examiner එහි කර්තෘ ජේම්ස් රිචඩ්සන්ගේ  කාර්යාලයට එළිසබෙත්ගේ ඝාතකයා යැයි කියා ගන්නා පුද්ගලයෙක් ඇමතුමක් ලබා දී එළිසබෙත්ගේ සිහිවටන  කීපයක් තැපෑලෙන් බලාපොරොත්තු වන ලෙස පවසයි. එම ඇමතුම මෙම පර්යේෂණය තව තවත් සංකීර්ණ තත්ත්වයකට පත් කිරීමට හේතුවක් විය. ඉන් දින කිහිපයකට පසු එක්සත් ජනපද තැපැල් සේවයේ සේවකයෙකු සැකකටයුතු මැනිලා ලියුම් කවරයක් සොයා ගන්නා අතර එය ලොස් ඇන්ජලීස් පරීක්ෂක වෙත යොමු කරන බවට සටහනක් ද විය. එම සටහන පුවත්පත්වලින් කපාගන්නා ලද තනි තනි වචන අලවා සකස් කරන ලද සටහනක් විය. මෙම ලියුම්කවරය තුළ එළිසෙබෙත් ෂෝර්ට්ගේ ව්‍යාපාරික කාඩ්පත්, උප්පැන්න සහතිකය, ඡායාරූප ආදිය මෙන් ම මාර්ක් හැන්සන් නම සඳහන් කරන ලද ලිපින සහිත පොතක් ද විය. මෙම ලියුම් කවරය සහ බඩු බාහිර ආදිය, එළිසෙබෙත් ෂෝර්ට්ගේ සිරුර මෙන් ම පෙට්‍රල්වලින් පිස දමා පිරිසිදු කර තිබීම ද තවත් විශේෂ ලක්ෂණයකි. මෙම ලියුම ලැබෙන දිනයේ ම  එළිසබෙත් ෂෝර්ට්ගේ සිරුර තිබූ ස්ථානයට කිලෝමීටර් තුනක් පමණ එපිටින් නෝටන් ඇවනිව් සිට මඳක් දුරින් පිහිටි මංතීරුවක කුණු බඳුනක් මත අත් බෑගයක් හා කළු සපත්තුවක් තිබූ බවට වාර්තාවල සඳහන් වෙයි. එම භාණ්ඩ  පොලීසිය විසින් සොයා ගන්නා විටත් ඒවා පෙර ලෙස ම පෙට්‍රල්වලින් පිස දමා සියලු සාක්ෂි විනාශ කර තිබී ඇත.

මෙම සිදුවීමෙන් ටික කලකට පසුව එනම්, මාර්තු මස 14 වන දින වැනි වැනීසියේ බ්‍රීසෙව් වෙරළේ පිරිමි ඇඳුම් කිහිපයක් සමග සපත්තුවක රඳවා තිබූ සියදිවි නසාගැනීමේ සටහනක් හමු වී ඇති අතර එය එළිසබෙත් ෂෝර්ට්ගේ ඝාතකයා විසින් සටහන් කරනු ලැබූවක් බව අනුමාන කෙරිණි. වෙරළාරක්ෂක නිලධාරියෙකුට මෙම ඇඳුම් කිහිපය ප්‍රථමයෙන් ඇස ගැටෙන අතර ඔහු එය ජීවිතාරක්ෂක කපිතාන් ජෝන් ඩිලන් වෙත වාර්තා කර ඇත. ඩිලන් වහා ම බටහිර ලොස් ඇන්ජලීස් පොලිස් ස්ථානයේ කපිතාන් එල්. ඊ. ක්‍රිස්ටොන්සන්ට දැනුම් දී ඇත. නමුත් ඉහත සඳහන් සියදිවි නසාගැනීමේ ලියුම හැරෙන්නට මෙම ඇඳුම්වල අයිතිකරුගේ අනන්‍යතාවය සම්බන්ධව හෝඩුවාවක් ලබා ගැනීමට පොලිසිය අසමත් විය. ලොස් ඇන්ජලීස්  පරීක්ෂක වෙත තැපෑලෙන් ලැබුණු පාර්ශවයෙන් හමු වූ ලිපින පොතේ හිමිකරු වූ මාර්ක් හැන්සන් සැකකරුවෙකු ලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නේ මෙම කාල වකවානුවේ දී ය. හැන්ස් යනු සමාජ ශාලාවක සහ රඟහලක හිමිකරුවෙකි.

එළිසබෙත් ෂෝ‍ර්ට්  මිතුරන් සමග ඔහුගේ නිවසේ රැඳී සිට ඇත.එළිසෙබෙත් ෂෝර්ටගේ  මිතුරිය ඈන් ටෝත්  විමර්ශන කටයුතුවල දී කටඋත්තර ලබා දෙමින් සඳහන් කර තිබුණේ එලිසබෙත් ඝාතනය වීමට ආසන්න කාල වකවානුවේ හැන්ස් විසින් එළිසබෙත් වෙත එල්ල කළ ලිංගික යෝජනාව ඇය  විසින් ප්‍රතික්ෂේප කර ඇති බවත් ඒ නිසාම හැන්ස විසින් එළිසබෙත් ඝාතනය කිරීමට ඇති සම්භාවිතාවය වැඩි බවත් ය. නමුත් හැන්ස්ට විරුද්ධව පැහැදිලි සාක්ෂි හමු නොවීමේ ප්‍රතිඵලයක් ලෙස එළිසබෙත් ෂෝර්ට් ඝාතන නඩුවෙන් ඔහු නිදහස් විය. හැන්ස්ට අමතරව එලෙස එළිසෙබෙත් ෂෝර්ට්ගේ  ඝාතනයට සැකරුවන් ලෙස හඳුනාගත් 150ක් පමණ පිරිසකගෙන් ලොස් ඇන්ජලීස් පොලිසියට ප්‍රශ්න කිරීමට සිදුවිය. එළිසබෙත් ෂෝර්ට්  ජීවතුන් අතර සිටිය දී ගනුදෙනු කළ අවසාන පුද්ගලයා වූ මැන්ලිට ද  විවිධ ප්‍රශ්න කිරීම් සහ පරීක්ෂණ ගණනාවකට සැකරුවෙක් ලෙස භාජනය වීමට සිදු වූ නමුත් අවසානයේ ඔහු ද සැකයෙන් නිදහස් විය.

මාටින් ලුවිස් ඇතුළු හැන්ස්ගේ ලිපින පොතේ සඳහන් කිහිප දෙනෙකුගෙන්  පොලිසිය ප්‍රශ්න කිරීමේ කටයුතු සිදු කළ ද ඉන් කිසිදු වැදගත් තොරතුරක් අනාවරණය කරගත නොහැකි විය. එළිසබෙත් ෂෝර්ට්ගේ ඝාතනය සම්බන්ධව LAPD දෙපාර්තමේන්තුවේ විමර්ශන 750ක් ද, ශෙරීෆ්ගේ නියෝජිතයින් 400ක් ද,  කැලිෆෝනියාවේ ප්‍රාන්ත සංචාරක නිලධාරීන් 250ක් ද ඇතුළුව විශාල පිරිසක් පර්යේෂණවල නිරතව සිටි බව මූලාශ්‍රවල සඳහන් වේ. එවකට නගර සභා මන්ත්‍රී ලොයිඩ් ජී. ඩේවිස් විසින්  එළිසබෙත් ෂෝ‍ර්ට්ගේ  ඝාතනය සම්බන්ධව පොලිසියට නිවැරදි ඔත්තු ලබා දෙන්නෙකුට ඩොලර් 10,000ක මූල්‍යමය අගයක් ලබා දෙන බවට ද ප්‍රකාශයක් සිදු කළේ ය. නමුත් මෙම ප්‍රකාශය එළිසබෙත් ෂෝ‍ර්ට්ගේ ඝාතනය සම්බන්ධව සිදු කෙරෙමින් පැවති පොලිස් පරීක්ෂණ තව තවත් අවුල් සහගත තත්ත්වයට පත් කරන්නට හේතුවක් විය. ඒ මන්දයත්, මෙම ත්‍යාග මුදල ලබා ගැනීමේ අපේක්ෂාවෙන් විවිධ පුද්ගලයන් අසත්‍ය පාපොච්චාරණයන් ඉදිරිපත් කරන්නට පෙළඹීම නිසා ය. මෙලෙස ව්‍යාජ පාපොච්චාරණයන් ඉදිරිපත් කළ කිහිපදෙනෙකුට විරුද්ධව යුක්තියට බාධා කිරීමේ චෝදනාව යටතේ පොලිසිය විසින් නඩු පැවරීමට ද කටයුතු කළේ ය. 

කෙසේ නමුත් එම වසරේ ම ජනවාරි 26 වන දා පරීක්ෂකවරයාට තවත් ලිපියක් ලැබුණු අතර එහි සඳහන් වූයේ ජනවාරි 29 වන බදාදා පෙරවරු 10ට කළු ඩාලියාගේ මිනීමැරුවා ඉදිරිපත් වන බවයි. මෙම ලිපියේ විශේෂත්වය වූයේ මෙය අතින් ලියන ලද ලිපියක් වීමයි. කෙසේ වෙතත් නියමිත දිනයේ උදෑසන ම පොලිසිය අපරාධකරු අල්ලා ගැනීමේ සූදානමින් සිටියත් ඝාතකයා ඉදිරිපත් වූයේ නැත. මෙම සිදුවීමත් සමග එළිසෙබෙත් ෂෝර්ට්ගේ ඝාතනය එවකට මාධ්‍යයන්ට පුවත් මවන කාරණයක් විය. මෙම ඝාතනය වටා ගොඩනැගුණු කුතුහලය දනවන සිදුවීම් දාමය කෙරෙහි පාඨක ආකර්ෂණය ද ඉහළ ගියේ ය. එවැනි පසුබිමක් තුළ එළිසබෙත්  ෂෝ‍ර්ට්ගේ ඝාතනය සම්බන්ධ සංවේදී කරුණු ඇතුළත් විවිධ වාර්තා ප්‍රකාශයට පත් වූ අතර ඒවායේ බහුතරය පාඨක අවධානය දිනා ගැනීම සඳහා අතිශය සංවේදී අයුරින් රචනා කරන ලද අසත්‍ය කරුණු ඇතුළත් වූ වාර්තා ය. Golden express නම් පුවත්පතට ද එළිසබෙත් ෂෝර්ට්ගේ  මිනීමරුවා යැයි කියාගන්නා හඳුනා නොගත් පුද්ගලයෙක්ගෙන් ලිපියක් ලැබී තිබුණි. එහි විශේෂත්වය වූයේ එම ලිපිය ද පුවත්පත්වල පල වූ වචන කපා අලවා සකස් කරන ලද ලිපියක් වීමයි. කෙසේ නමුත් එහි සඳහන් වූයේ, 

“I will give up on Dahlia killing if I get 10 years, don’t try to find me.”

ලෙසයි. මෙහි සඳහන් වන්නේ වසර 10ක් ලැබුණොත් ඩාලියා ඝාතනය අත හරින බවත් ඔහු සොයා ගැනීම සඳහා උත්සාහ නොකරන ලෙසත් ය. නිශ්චිත සාක්ෂි හමු නො වූ ඝාතනයක් වුවත් එළිසබෙත් ෂෝර්ට්ගේ ඝාතනය එම කාලවකවානුවේ වඩා ජනප්‍රිය මාතෘකාවක් විය. එය කොතරම් ප්‍රසිද්ධ කාරණයක් වී ද යත් ඝාතනය සිදු වී දින 35 ක් පුරා පුවත්පත්වල මුල් පිටුවේ පළ වූ ප්‍රථම පුවත වූයේ එළිසබෙත් ෂෝර්ට්ගේ  ඝාතනයයි. LAPD ආයතනය සත්‍ය වසන් කළ බවට මතයක් පැවති නමුත් අද වන විට එළිසබෙත් ෂෝර්ට් හෙවත් කළු ඩාලියා ඝාතනය වී වසර හැත්තෑවකට අධික කාලයක් ගත වී තිබුණත් එය තවමත් නොවිසඳුණු අභිරහසකි.

Avatar

Author

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

Mystery

ප්‍රේමයක වියරුව

ප්‍රේමයක වියරුව ~~~   ”  ඔය තේ එකවත් බොන්න දැන් උදේ ඉදන් වතුර එකක් නෑනේ ”                           එක දිගට මවගෙන්
Mystery

Unraveling the Enigma: The Mysterious Death of Edgar Allan Poe

As we delve into the life of Edgar Allan Poe, one of America’s most celebrated writers, we can’t help but

Subscription

Kasunii

This will close in 20 seconds