Art Mystery Trending

ප්‍රසිද්ධ චිත්‍රවල අභිරහස් සැඟවී තිබුණා – පළමු කොටස

වර්තමානය වන විට ලෝකයේ විවිධ කලා මාධ්‍යයන් දැකගත හැකි ය. ඒවා අතරින් පැරණිතම කලා මාධ්‍යය ලෙස හඳුනාගනු ලබන්නේ සිතුවම්කරණය යි. ලෝකයේ බිහි වූ සෑම සිතුවමක් පිටුපස ම යම්කිසි කතාවක් සැඟවී ඇත. ඇතැම් අවස්ථාවල සිතුවම නැරඹීම මගින් එහි අන්තර්ගතය වටහාගත හැකි නමුත් ඇතැම් සුවිශේෂී සිතුවම්වල අන්තර්ගතය එසේ සරලව වටහා ගත නොහැක. සිතුවම්කරණය පිටුපස සිටින කලාකරුවන් ඔවුන්ගේ නිර්මාණ තුළින් විවිධ දෑ කියාපාන්නට උත්සාහ ගත්තේ ය. කලාකරුවන්ගේ හැඟීම්, ආවේග, සිහින, බලාපොරොත්තු, දැනුම ආදී  මේ සියල්ල ඔවුන්ගේ නිර්මාණයන් තුළ අන්තර්ගත වේ. ඇතැම් කලා නිර්මාණයන් තුළ නිර්මාණකරුවන් විසින් සඟවන ලද මෙවැනි දෑ කරලියට පැමිණෙන්නේ පරම්පරා ගණනාවකට පසුවයි. අතීතයේ විසූ එවැනි දක්ෂ සහ නිර්මාණශීලී චිත්‍ර ශිල්පීන් ලෙස ලියනාඩෝ ඩාවින්චි, පැබ්ලෝ පිකාසෝ, මයිකල් ආන්ජලෝ වැනි නිර්මාණකරුවන් හැදින්විය හැකි ය. මෙම නිර්මාණකරුවන්ගේ බොහෝ සිතුවම්වලට වර්තමානයේ අප දකින දෙයට වඩා ඔබ්බට ගිය යමක් තිබෙන බව විවිධ  පර්යේෂකයන්, ඉතිහාසඥයන් විසින් දැනටමත් සොයාගෙන තිබේ. මේ ලිපියෙන් අප උත්සාහ දරන්නේ එවැනි ප්‍රසිද්ධ සිතුවම් තුළ සැඟවුණු රහස්  දැනගැනීමයි.

ලෝකය පුරා ඉතාමත් ප්‍රසිද්ධ සිතුවම් අතර ඉදිරියෙන් ම තිබෙන සිතුවමක් ලෙස ලියනාඩෝ ඩාවින්චිගේ මොනාලිසා සිතුවම හැඳින්විය හැකියි. ක්‍රි. ව. 1503 – 1519 අතර කාල වකවානුවේ දී සුප්‍රකට සහ අතිදක්ෂ චිත්‍ර ශිල්පියෙකු වූ ලියනාඩෝ ඩාවින්චි විසින් ෆ්ලෝරන්ඩ් හි සිල්ක් වෙළෙන්දෙක් වන ෆැරැන්සිස්කෝ ඩෙල් ජියෝකොන්ඩෝගේ බිරිඳ ලීසා ගෙරාර්ඩින්නිගේ මෙම සිතුවම නිර්මාණය කළ බව පර්යේෂකයන්ගේ අදහසයි. මෙය සාමාන්‍ය සිතුවමක් සේ පෙනුණත් විවිධ විද්වතුන්ට අනුව නම් මෙය පිළිතුරු නොමැති ප්‍රශ්න රැසක් ඉතිරි කරන ලද  සිතුවමක් විය. කැනේඩියානු විද්‍යාඥයන් පිරිසක් මෙම සිතුවමේ සිටින කාන්තාව සම්බන්ධව නොව මත කිහිපයක් ඉදිරිපත් කිරීමට සමත් වී ඇත. ඔවුන් මෙම සිතුවම 3D පර්යාවලෝකනයට ලක්කර ඉන් ලැබෙන දත්ත මත පිහිටා මෙම මත ඉදිරිපත් කර ඇත. එහි දී මෙම පර්යේෂකයන් අතිසංවේදී කාච මගින් මොනාලිසා පිටපත නිරීක්ෂණය කර ඇත. මෙම විද්‍යාඥයන් ඉදිරිපත් කරන එක් මතයක් වන්නේ මෙම සිතුවම නිර්මාණය කිරීමට දින කීපයකට ප්‍රථම මෙම සිතුවමේ සිටින කාන්තාව දරු ප්‍රසූතියක් සිදුකර ඇති බවයි.

මොනාලිසාගේ  පියයුරු, උදරය සහ මුහුණේ හැඟීම්වල ඇති අසාමාන්‍ය පෙනුම සහ වේදනාවක් පරයමින් ආයාසයෙන් ඉස්මතු කරගෙන සිටින සිනහව විද්‍යාඥයන්ගේ මෙම නිගමනයට හේතු වී ඇත. බැලූ බැල්මට මොනාලිසාගේ සිතුවමේ ඇහිබැමි පිහිටා නොමැත. ඒ නිසා බොහෝ දෙනකුගේ මතය වූයේ 16 වන සියවසේ ගණිකාවන් ඇහිබැමි සහ ඇසිපිය සම්පූර්ණයෙන් ම මුඩු කොට සිටි නිසා ඇයත් එවැනි ගණිකාවක් බවයි. මෙම මතය තහවුරු වීමට තවත් හේතුවක් වූයේ මොනාලිසා මගුල් මුද්දක් පැළඳ නොසිටීමයි. නමුත් කැනේඩියානු විද්‍යාඥයන් මොනාලිසා සිතුවමේ ත්‍රිමාන පර්යාවලෝකන පිටපත විශාල කර බැලීමේ දී මොනාලිසාගේ ඇස් දෙකට ඉහළින් යාන්තමට ඇඳ තිබූ ඇහි බැම හා ඇහි පිහාටු දැකගන්නට හැකි වී තිබීම මොනාලිසා ගණිකාවක් නොවන බවට තහවුරු කරයි. කැනේඩියානු විද්‍යාඥයන් මොනාලිසා සිතුවමේ ලබාගත් ත්‍රිමාණ පර්යාවලෝකන පිටපතේ අසාමාන්‍ය ලෙස කුඩා මොනාලිසාගේ දෑසත් එහි ඉදිමුණු ස්වභාවයෙන් යුත් ඇහැ යට ප්‍රදේශයත් ඉතාම අසාමාන්‍ය ආකාරයට පෙනුණි. එම ලක්ෂණ අධික කොලෙස්ටරෝල් තත්ත්වයක් ඉහළ ගිය රෝගියෙකුගේ ලක්ෂණවලට සමානවීම නිසා කැනේඩියානු විද්‍යාඥයන්ගේ මතය වූයේ දරු ප්‍රසූතියෙන් පසුව මොනාලිසා අධික ලෙස කොලෙස්ටරෝල් මට්ටම ඉහළ යාමේ රෝගයකින් පෙලෙන්නට ඇති බවයි. සිතුවම්කරණයේ දී ඉතා ම වැදගත් සංකල්පයක් වන්නේ ගෝල්ඩන් රේෂියෝ සංකල්පය නිර්මාණය වන්නේ අදින් ශත වර්ෂයකට පමණ එපිට කාලයේ දී ය. මෙම සංකල්පයට අනුව සිතුවමක් නිර්මාණය කළොත් එය ඉතා කලාත්මක සිතුවමක් වන බව නිර්මාණකරුවන්ගේ අදහසයි. නමුත් විශ්මයජනක කාරණය වන්නේ ලියනාඩෝ ඩාවින්චි මොනාලිසා සිතුවම නිර්මාණය කර වසර 400කට පමණ පසුව සොයා ගන්නා ලද ගෝල්ඩන් රේෂියෝ සංකල්පයට අනුව මොනාලිසා සිතුවම නිර්මාණය කර තිබීමයි. කෙසේ වෙතත් මෙමගින් සනාථ වන කාරණය වන්නේ ගෝල්ඩන් රේෂියෝ සංකල්පය සොයා ගැනීමට කලකට පෙර ලියනාඩෝ ඩාවින්චි මේ සංකල්පය දැන සිටි බවයි.

මොනාලිසාගේ සිනහව සම්බන්ධව විවිධ පර්යේෂකයන් ඉදිරිපත් කර ඇති අදහස් එකිනෙකට වෙනස් වේ. මහාචාර්‍ය සෙන් රොබට්  (Sean Roberts)ට අනුව මොනාලිසාගේ සිනහව ඉතාමත් කපටි ස්වභාවයක් ගෙන ඇත. ස්වාභාවික සිනහවකින් එය ඉතා වැදගත් යමක් දන්නා අයෙක් එය හෙළි නොකර සිටිමින් උපහාසය නගන සිනාවකට සමාන බව ඇතමෙකුගේ අදහසයි. ඔක්ස්වර්ඩ් විශ්වවිද්‍යාලයේ ඉතිහාසය හා චිත්‍ර කලාව සම්බන්ධ මහාචාර්ය මාටින් කෙම්ප්ට (Martin Kemp) අනුව මොනාලිසා යනු ලියනාඩෝ ඩාවින්චිගේ ආධ්‍යාත්මය නිර්මාණය කළ සිතුවමකි. එය මෙම සිතුවම තුළ තොරතුරු රාශියක් සැඟව ඇති බව ද ලබා දෙන ඉඟියකි. අද වන විටත් දහස් ගණනක් පර්යේෂකයන්ට සහ විද්‍යාඥයන්ට ගැටලු රැසක් ඉතිරි කළ මෙම සුවිශේෂී සිතුවම ඇඳීමට ලියනාඩෝ ඩාවින්චි සිය ජීවිතයේ සැඳෑ සමය වැය කිරීමට තරම් හේතු වූ කාරණය කුමක්ද? මේ ගැටලුව නිසාම බොහෝ විද්‍යාඥයන්ගේ අදහස වන්නේ මොනාලිසා සිතුවම තුළ රහස් සංකේත හා පණිවුඩ අන්තර්ගතව තිබෙන්නට ඇති බවයි. ඩාවින්චි සෑම විට ම පැරණි සංස්කෘතීන් අධ්‍යයනය කරමින් ඉන් සොයාගන්නා ලද නව දැනුම වෙනස් ම මානයකින් සිය නිර්මාණ තුළින් එළි දැක් වූ අපූර්ව නිර්මාණකරුවෙකි. Mirror Writing  තාක්ෂණය ප්‍රගුණ කළ විද්වතෙක් ලෙස ලියනාඩෝ ඩාවින්චි ඉතා ප්‍රසිද්ධ පුද්ගලයෙකි. එවැනි දක්ෂතාවයක් සතු පුද්ගලයෙක් තමන්ගේ රහස් සියල්ල අනාගතයේ දී බිහිවන බුද්ධිමත් ජාතියකට සොයා ගැනීමට හැකිවන පරිදි mirror writing තාක්ෂණය ඔස්සේ සිය නිර්මාණවල සඟවන්නට ඇති බවට ඇතැම් විද්වතුන් විශ්වාස කරයි. බොස්ටන්හි ඇති Northeastern විශ්වවිද්‍යාලයේ ටෙරන්ස් මේසන් නම් ග්‍රැෆික් නිර්මාණ ශිල්පියා පරිගණක තාක්ෂණය භාවිතයෙන් ඩාවින්චිගේ සිතුවම් හි සැඟවුණු අර්ථ සෙවීමට විශාල ප්‍රයත්නයක් දැරීය. ඒ අනුව ඔහු සොයාගත් කරුණු රැසකි.

ලියනාඩෝ ඩාවින්චි යනු පරාවර්තනය සහ මිනිස් ඇස පිළිබඳව විශාල වශයෙන් පර්යේෂණවල නිරත වූ පුද්ගලයෙකි. ඒ නිසා ම mirror writing තාක්ෂණය ඔස්සේ ඩාවින්චි සිය රහස් සිය සිතුවම් තුළ සඟවන්නට ඇති බවට ටෙරන්ස් තරයේ විශ්වාස කළේ ය. මොනාලිසාගේ අතේ ඇඟිල්ලෙන් ලැබෙන සංඥාවට අනුව මෙම සිතුවම් අනෙක් පස හැර වුවහොත් වර්තමානයේ අප පිටසක්වල ජීවීන්ගේ යැයි උපකල්පනය කරන රූපයට සමාන රූපයක් දැකගත හැකි ය. මෙය හුදෙක් මොනාලිසා සිතුවමේ පමණක් නොව ලියනාඩෝ ඩාවින්චි විසින් අඳින ලද The Virgin And Child, Virgin Of The Rock වැනි තවත් බොහෝ සිතුවම්වල දැකගත හැකි ය.

ඉන් වර්තමානයට ඉතිරි කරන ගැටලු රැසකි.

  1. ලියනාඩෝ ඩාවින්චි සක්වල ජීවීන් සමග සම්බන්ධතා පැවැත්වූවා ද?
  2. ඔහු සතු මෙම අසීමිත දැනුම සක්වළ ජීවීන්ගෙන් හිමි වූවක් ද?
  3. ලියනාඩෝ ඩාවින්චි මිනිස් සිරුර පරික්ෂා කළේ ඇයි? ඒ චිත්‍ර සඳහා ද? නො එසේ නම් අප නොදන්නා වෙනත් කරුණක් සඳහා ද?

මොනාලිසා සිතුවම පිළිබඳව පර්යේෂණයේ නියුතු ඔහු තවත් පර්යේෂකයන් පිරිසකගේ අදහස වන්නේ මින්  නිරූපණය වන්නේ කාන්තාවක් නොව ලියනාඩෝ ඩාවින්චිගේ ම ස්ත්‍රී ස්වරූපය බවයි. මොනාලිසාගේ ඇති පුරුෂයෙකුගේ වැනි නාසය සහ පුළුල් නළල් තලය නිසා මෙම සිතුවම ස්ත්‍රී ලක්ෂණ සහ පුරුෂ ලක්ෂණ දැකගත හැකි බව පර්යේෂකයන්ගේ අදහසයි. ඇතැම් ඉතිහාසඥයන් තරයේ පිළිගන්නා කරුණක් වන්නේ ලියනාඩෝ ඩාවින්චි යනු තම සමරිසි පුද්ගලයෙක් බවයි. ඔවුහු තමන්ගේ ම රුව ගැහැණු ස්වරූපයෙන් සිතුවමට  නගන්නට ඇත්තේ ඒ නිසා බව ඔවුන් ප්‍රකාශ කරයි.

මෙම මතය තවත් තහවුරු වන්නේ ඉතිහාසඥයකු වන Lillian Schwartz විසින් මොනාලිසාගේ සිතුවම සහ රතු පැහැති හුණු කූරකින් අඳින ලද ලියනාඩෝ ඩාවින්චිගේ සිතුවම ඩිඡිටල් විශ්ලේෂණයකට ලක් කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සිතුවම් දෙකෙහි ම සමාන ලක්ෂණ තිබෙන බව සනාථ වීමයි. මොනාලිසාගේ සිතුවම සම්බන්ධයෙන් මහාචාර්ය Margaret Livingstone ඇත්තේ වෙනස් අදහසකි. ඇයට අනුව මොනාලිසාගේ මුහුණේ සිනහවක් හෝ දුකක් පෙන්නුම් නොකරයි. ඇයගේ අදහස වන්නේ මෙම ඉරියව් දෙක ම මිශ්‍ර වූ හැඟීමක් මොනාලිසාගේ සිනහවේ ඇති බවයි.

මොනාලිසාගේ සිනහව පියවි ඇසට පෙනෙන ආකාරයෙන් ඔබ්බට ගොස්  සිතුවම තරමක් බොඳ කර බැලුවහොත් ඇයගේ සැඟවුණු සිනහව දැක ගත හැකි බව ඉතිහාසඥයන්ගේ අදහසයි. 2005 වර්ෂයේ දී නිර්මාණය කළ motion recognition නම් මෘදුකාංගය භාවිතයෙන් මොනාලිසාගේ මුහුණ පරීක්ෂා කිරීමේ දී 83% සතුටින් සිටින මුහුණක ලක්ෂණ මොනාලිසාගේ සිතුවමෙන් නිරූපණය වන බව විද්‍යාඥයන් සොයා ගන්නා ලදී. ඉතාලියේ සංස්කෘතික උරුමයන් පිළිබඳව ජාතික කමිටුව මගින් 2010 වසරේ දී මොනාලිසා සිතුවමේ සිදු කළ දත්ත විශ්ලේෂණයෙන් මෙම සිතුවම් පිළිබඳව තවත් අපූරු කරුණු කිහිපයක් හෙළිදරව් විය. මෙම පර්යේෂණයේ දී සිල්වතෝ විෆ්සෙට් නම් පුද්ගලයා විසින් මෙම සිතුවමේ සැඟවී ඇති රහස් අක්ෂර කිහිපයක් සොයා ගනු ලැබී ය. හයිටෙක් මැග්නිෆයින් කාච පමණක් භාවිත කර එම අක්ෂර කියවා ගැනීමට හැකි වීම මෙහි ඇති තවත් සුවිශේෂීත්වයකි. සිල්වතෝ විෆ්සෙට්ට  අනුව මොනාලිසාගේ  දකුණු ඇසේ LV අකුරු ද වම් ඇස තුළ CE හෝ B අකුර ද සිතුවමේ පිටිපස්ස පාලමේ 72 යන අංකය හෝ L2 යන අක්ෂර ද සඳහන්ව ඇත. මොනාලිසා සිතුවමේ සැඟවුණු තවත් රහස් විශාල ප්‍රමාණයක් ගැන තවත් බොහෝ විද්වතුන් විවිධ අදහස් ඉදිරිපත් කර ඇති අතර ඉදිරියේ දී බිහිවෙන විද්‍යාඥයන්ගෙන් සහ ඉතිහාසඥයන්ගෙන්  ද  එය අපේක්ෂා කළ යුතුමය.

Avatar

Author

About Author

Leave a comment

Your email address will not be published. Required fields are marked *

You may also like

Trending

කුමාරි – 2022

කුමාරි – 2022   “දන්නෙ නැති කෙනෙක් එක්ක මගුලෙ යන්න එපා” කියල අපේ පැත්තෙ කතාවක් තිබ්බා !!. ඉතින් මම මේ
Mystery

ප්‍රේමයක වියරුව

ප්‍රේමයක වියරුව ~~~   ”  ඔය තේ එකවත් බොන්න දැන් උදේ ඉදන් වතුර එකක් නෑනේ ”                           එක දිගට මවගෙන්

Subscription

Kasunii

This will close in 20 seconds