ශ්‍රී ලාංකික විවාහ සංස්කෘතීන් පිළිබඳ දිගහැරුමක්
ශ්‍රී ලංකාවට ප්‍රෞඪ ඉතිහාසයක් ඇත්තා සේ ම විවාහය පිළිබඳව ද ඊට ම අනන්‍ය වූ සශ්‍රීක සංස්කෘතියක් ඇත. එහි මනබඳිනාසුලු බව විදේශිකයන්ගේ ද නිබඳ ආකර්ෂණයට හසු වී ඇත. දින ගණනාවක සූදානම්වීම්වලින් පසු උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලබන ශ්‍රී ලාංකික විවාහ මංගල්‍යයන් වනාහි සොඳුරු අත්දැකීමකි. මෙලෙසින් ශ්‍රී ලංකාව ස්ත්‍රියක් හා පුරුෂයෙක් අතර ඇති වන දිව්‍යමය බැඳීම උත්සවාකාරයෙන් සැමරීමට වග බලා ගනියි.
ලෝක ජනගහනයෙන් 58 වැනි ස්ථානය හිමි කරගන්නා ශ්‍රී ලංකාද්වීපය විවිධ ජන කොට්ඨාස රැසකට ම සෙවණ සපයයි. ඒ අනුව එම ජන වර්ග ඔස්සේ ලාංකීය විවාහ සංස්කෘතිය විසිරී පවතී. එසේ නම්, ලාංකීය සමාජය තුළ එක් එක් ජන කොට්ඨාසයට අදාළ වූ විවාහ සම්ප්‍රදායයන් වෙන වෙන ම විමසා බලමු.
සාම්ප්‍රදායික සිංහල විවාහ සංස්කෘතිය
ශ්‍රී ලාංකික විවාහ මංගල්‍යයන් හි දී සාම්ප්‍රදායික සිරිත් විරිත්වලට සුවිශේෂ ස්ථානයක් හිමි වේ. ඒ අනුව සෑම සිංහල බෞද්ධ විවාහ මංගල්‍යයක් ම පරම්පරා ගණනාවකින් පැවතගෙන එන චාරිත්‍රයන්ගෙන් ස්වයංපෝෂිත වේ. වර්තමානය වන විට චාරිත්‍රයන් අතළොස්සක් පමණ වෙනස් වී ඇති නමුත් නැකැත් බැලීම හා පෝරුවේ චාරිත්‍ර ඉටු කිරීම අදටත් අනිවාර්ය සාම්ප්‍රදායික අංග ලෙස ක්‍රියාත්මක වන අයුරු දැකිය හැකි ය. ප්‍රසිද්ධ සිංහල විවාහ චාරිත්‍ර වාරිත්‍ර හා සම්ප්‍රදායයන් පිළිබඳ විස්තර පහත පරිදි වේ.
- නැකැත් බැලීම
නැකැත් බැලීම යන්න සිංහල විවාහ මංගල්‍යයක දැකිය හැකි ප්‍රධාන අංගයකි. සාමාන්‍යයෙන් විවාහ මංගල්‍යයක් යෙදෙන දවස හා නැකත මනාලයා සහ මනාලියගේ කේන්දර ගැළපීමෙන් අනතුරුව ජ්‍යෝතිෂවේදියෙකු විසින් තීරණය කරනු ලබයි.
- පෝරුවේ චාරිත්‍ර
නැකැත් බැලීමෙන් අනතුරුව පෝරුවේ චාරිත්‍ර සිදු කරනු ලබයි. සාම්ප්‍රදායික සිංහල විවාහ මංගල්‍යයක් “පෝරුවේ සිරිත” ලෙසින් ද හැඳින්වේ. මංගල පෝරුව මංගල්‍යයට දින කිහිපයකට පෙර සුබ හෝරාවකින් සෑදීම ආරම්භ කෙරේ. මෙම මංගල පෝරුව පොළොවට මඳක් ඉහළින් පිහිටන සේ සකස් කරන අතර මෙය මල්කම් ලියකම්වලින් අලංකාර කරනු ලබයි. සුබ දිසාවට මුහුණලා සිටින සේ එය නිර්මාණය කෙරේ. නියම වූ සුබ මුහූර්තියෙන් මනාල යුවළ පෝරුවට නැංවීම සිදු කරනුයේ ඔවුන්ගේ මාමාවරුන් විසිනි. නියමිත දිසාව බලා පෝරුවට නංවන මොහොතේ මඟුල් බෙර වැයීම සිදු වේ. පෝරුවේ චාරිත්‍ර ලෙසින් මනාලයා පළමුව සිය මනාලියට තැලි පිළි පළඳවයි. මනාලිය විසින් ද මනාලයා හට මුදුවක් පළඳවයි. ඉන් අනතුරුව, පවුලේ වැඩිහිටියෙකු විසින් දෙදෙනාගේ සුළැඟිලි පිරිත් නූලකින් බැඳ අත් පැන් වැඩීම සිදු කෙරේ. පසුව, මනාලිය විසින් තම මෑණියන්ට කිරිකඩ සේලයක් පිරිනමා, බුලත් හුරුල්ලක් දී ඇගේ දෙපා නමදියි. මනාලියගේ මව එය පිළිගනූයේ හිස මත තබා ගනිමිනි. මනාල යුවළගේ සුළැඟිලි බැඳ අත් පැන් වඩන විට කන්‍යා ළඳුන් විසින් “ජයමංගල ගාථා” කියනු ලබයි. (මෙම ඇතැම් සිරිත් විරිත් පළාතෙන් පළාතට වෙනස් වේ.) මනාල යුවළගේ නව විවාහ ජීවිතය සංකේතවත් කරමින්, පෝරුවෙන් බසිනවාත් සමග ම මනාල පාර්ශවයේ සාමාජිකයෙක් පොල් ගෙඩියක් පිහියෙන් ගසා දෙපලු කරයි. පෝරුවේ චාරිත්‍රයන්හි අවසානය බෙරකරුවන්ගේ හා නැට්ටුක්කරුවන්ගේ රඟ දැක්වීමත් සමග සමාප්තියට පත් වේ.
- කිරි හා කිරිබත් කැවීම
විවාහ මංගල්‍යයක් රස මසවුළු නොමැතිව සම්පූර්ණ නොවේ. සිංහල සංස්කෘතියට ආවේණික කිරි හා කිරිබත් සාම්ප්‍රදායික සිංහල විවාහ මංගල්‍යයක ද දැකිය හැකි ය. මනාල යුවළට කිරිබත් කැවීමේ චාරිත්‍රය මනාලියගේ මවට පැවරෙන අතර ඔවුන්ට කිරි පොවනු ලබන්නේ මනාලයාගේ මව විසිනි. අලුත බැඳි යුවළ එකිනෙකාට කිරිබත් කවාගැනීමෙන් විවාහ මංගල්‍යයේ චාරිත්‍ර අවසන් වේ.
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික දෙමළ විවාහ සංස්කෘතිය
පාරම්පරික දෙමළ සංස්කෘතියේ අපූර්වත්වය විදහා දක්වන මනස්කාන්ත අංගයක් ලෙස දෙමළ විවාහ මංගල්‍යයන් හැඳින්විය හැකි ය. සිංහල සංස්කෘතිය තරම්ම චාරිත්‍ර වාරිත්‍ර රැසකින් සමන්විත වන මෙම විවාහ උත්සව වනාහි අලංකාරත්වයෙන් පරිපූර්ණ වේ. සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික දෙමළ විවාහ මංගල්‍යයක දැකිය හැකි සිරිත් විරිත් පහත පරිදි වේ.
- මංගල ස්නානය
විවාහ දිනයේ සමාරම්භය එදින අලුයම සිදු කරනු ලබන මංගල ස්නානයත් සමග සනිටුහන් වේ. මනාල යුවළගේ නිවසේ ඉටු කෙරෙන මෙම චාරිත්‍රයේ දී ඔවුන්ගේ මුහුණු, අත් හා පා ආදියෙහි කහ, සඳුන්, කුංකුම තැවරීම සිදු කෙරේ. ඉන් අනතුරුව ඔවුන්ගේ ශරීරය හා ආත්මය පාරිශුද්ධ කිරීම නිමිති කොටගෙන පින් වතුරෙන් ඔවුන් නහවා මංගල්‍යය සඳහා ඇඳ පැළඳගැනීමට පිටත් කර යවනු ලැබේ.
- පාද පූජාව
මනාලයා උත්සව මණ්ඩපයට පැමිණීමෙන් පසු මනාලියගේ පියා විසින් ඔහුගේ දෙපා පින් වතුර, සඳුන්, කිරි හා කුංකුම ආදියෙන් නැහැවීම සිදු කෙරේ.
- මාල මාරු කරගැනීම
මනාලිය උත්සව පෝරුවට පැමිණීමෙන් පසු යුවළ මල් මාලා මාරු කරගැනීම සිදු කරති. එය ඉතා විනෝදකාමී අවස්ථාවක් වෙයි.
- මුහුර්තම්
මෙම චාරිත්‍රයට අනුව මනාල පාර්ශවයේ මව්පියන් යාර නවයක සාරියක් ත්‍යාග වශයෙන් පිරිනමමින් ඇය තම නිවසට පිළිගනිති. එම සාරිය ඇඳගන්නා මනාලිය නැවත අනෙකුත් චාරිත්‍රයන් සඳහා සූදානමින් පැමිණෙයි. පූජකවරයාගේ ආශිර්වාද මැද මනාලයා මනාලිය ගෙලේ තැල්ල බඳින්නේ ඉන් අනතුරුව ය. මනාලයා තැල්ලෙහි මුල් ගැට දෙක ගැට ගසන අතර මීළඟ ගැට දෙක මනාලයාගේ සහෝදරිය විසින් බඳිනු ලැබේ.
- ගෘහ ප්‍රවේශම්
අවසන් විවාහ චාරිත්‍රය ලෙස මෙම චාරිත්‍රය යටතේ මනමාලි මනමාලයාගේ නිවසට හෘදයාංගමව පිළිගැනීම සිදු කරයි. මනාලයාගේ මව විසින් ආර්ති පූජාව ඉටු කරමින් හා දෙවියන්ගෙන් ආශිර්වාද ලබාගනිමින් මෙම විශේෂ චාරිත්‍රය පවත්වනු ලැබේ.
මෙසේ දෙමළ සංස්කෘතියට ම ආවේණික වූ සාම්ප්‍රදානුකූල සිරිත් විරිත් මගින් එහි විවාහ මංගල්‍යයන් මනබඳිනාසුලු ලෙස පවත්වනු ලැබේ.
සාම්ප්‍රදායික ශ්‍රී ලාංකික මුස්ලිම් විවාහ සංස්කෘතිය
ලාංකික මුස්ලිම්වරුන්ගේ විවාහ සම්ප්‍රදාය සමාජයෙන් සමාජයට වෙනස් වේ. මැලේ ජන කොට්ඨාසය සාම්ප්‍රදායික මැලේසියානු හා ඉන්දුනීසියානු චාරිත්‍ර අනුගමනය කරන අතර සෙසු මුස්ලිම් ජනතාව අනුගමනය කරන්නේ ඉන්දීය හා පකිස්ථානු විවාහ සිරිත් විරිත් ය. ලංකාවේ අනෙකුත් විවාහ සංස්කෘතීන්ගෙන් වෙනස් වන මුස්ලිම් විවාහ වනාහි ආගමට මුල් තැන දෙන සිරිත් සමුදායකින් හෙබි ය.
- නිකාහ් අංගය
නිකාහ් අංගය යටතේ මුස්ලිම් විවාහයන් නීත්‍යනුකූල බවට පත් වේ. මෙම උත්සවය සාමාන්‍යයෙන් සවස් යාඥාවෙන් පසුව පල්ලියේ දී සිදු කෙරේ. (නිකාහ් උත්සවය ඇතැම් විට විවාහ මංගල ශාලාවේ දී ද පැවැත්වෙනු දැකිය හැකි ය.) මේ අවස්ථාවට මුස්ලිම් විවාහ රෙජිස්ට්‍රාර් ඇතුළු මනාල දෙපාර්ශවයේ පිරිමි පුද්ගලයන් සහභාගි වෙති. මෙහි දී මනාලියගේ පියා විසින් මනාලයා අත මංගල මුද්ද පළඳවනු ලබයි. නිකාහ් නම් වූ විවාහ ලියාපදිංචි කිරීමේ කටයුත්ත අවසන් වූ පසු මනාලයා විසින් මනාලිය හට මහ්ර් නමැති අනිවාර්ය දීමනාව ලබා දිය යුතු වේ. එය ලබා දෙන අවස්ථාවේ “මහ්ර්” නම් වචනය පැවසීම මහ්රය වලංගු වීම සඳහා අත්‍යවශ්‍ය වේ.
- විවාහ උත්සව අවස්ථාව
මනාලයා පැමිණීමට මත්තෙන් මනාලියගේ පියා ඇය උත්සව ශාලාවට කැඳවාගෙන විත් අසුන් ගන්වයි. අනතුරුව පැමිණෙන මනාලයා ශාලාවට පිළිගනු ලබන්නේ මනාලියගේ පාර්ශවයේ පිරිමි පුද්ගලයෙක් විසිනි. පසුව මනාලියගේ පියා මනාලයා ද සිහසුන වෙත කැඳවාගෙන යනු ලැබේ. මංගල පෝරුවේ දී මනාලයා මනාලියගේ ගෙල රත්‍රන් තැල්ල බඳින අතර ඇයගේ අත මංගල මුද්දද පළඳවයි. මනාලයාගේ සහෝදරියක් විසින් මනාල යුවළට කිරි හා පැණිරස යමක් කවනු ලැබෙන්නේ තැල්ල බැඳීමෙන් අනතුරුව ය. ඒ සමග ම ඔවුන් එකිනෙකාට සලාම් කියා ආචාර කරගනිති. සාම්ප්‍රදායික මුස්ලිම් විවාහයේ චාරිත්‍ර වාරිත්‍රයන් මේ සමග ම අවසන් වන අතර ඉන් පසුව අමුත්තන්ට සංග්‍රහ කිරීම ඇරඹේ.
ජන සමාජය අනුව විවිධතා මතු වුව ද ලාංකීය විවාහ සංස්කෘතිය වනාහි අභිමානයෙන් හා ප්‍රෞඪත්වයෙන් සෑම විට ම ඒකාබද්ධ වූවකි. එසේ ම එම සංස්කෘතිය ශ්‍රී ලාංකිකත්වයේ අනන්‍යතාව ජාත්‍යන්තරයට සාඩම්බරයෙන් පිළිගන්වන්නක් ලෙස ද දක්නට හැකි ය.